Saturday, September 14, 2013

සිගාලෝවාද සූත්‍රයෙහි සඳහන් පරිදි සුරාවට යොමුවීම..

මත්වතුර, මත්කුඩු හා දුම්බීම පිරිහීමේ දොරටුය

සිගාලෝවාද සූත්‍රයෙහි සඳහන් පරිදි සුරාවට යොමුවීම පරිහානියේ දොරටු හයෙන් එකකි. මතට යොමුවීමෙන් ජීවිත අකාලයේ විනාශයට පත්වන බව සත්‍යයකි. ඔබට සිත තුළ දැඩි චිත්ත අධිෂ්ඨානයක් ඇති කරගත හැකි නම් මතින් තොරව විසීම අපහසු නොවේ. වර්මානයේ බොහෝ තරුණ දරුවන් ඉන් ඉවත්ව අධ්‍යාපනයෙහි හා රැකියාවන්හි නිරතවීම මහත් සැනසිල්ලකි. එහෙත් සමහර දරුවෝ උපන්දින සාද, විවාහ උත්සව හා විනෝද ගමන් ආදියෙහි දී නොදැනුවත්වම එයට හුරුවෙති. සමහරු "ඉඳහිට" හෝ "හැමදාම නොවෙයි" කියමින් තමාගේ වරද නිවැරදි කරගන්නට උත්සාහ ගනිති. මෙම වරද නොදැනුවත්වම පුරුද්දක් බවට පත්වුවහොත් ඉන් ගැලවීම පහසු නොවේ. මත්ද්‍රව්‍ය නිසා අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන තරුණ ජීවිතය නිසරු කරගත් පිරිස් අප අතර කොපමණ සිටිත්දැයි ඔබම සිතා බලන්න. බුදුරදුන් වදාළ පරිදි මතට හුරුවීමෙන් ලැබෙන නරක ආදීනව හයකි.

1. සිය ධනය විනාශ වීම
2. දබර ඇතිකර ගැනීම
3. විවිධ රෝගාබාධ ඇතිවීම
4. නරක නාමයක් ඇතිවීම
5. නිර්ලජ්ජාවීම
6. සිතීමේ ශක්තිය (නුවණ) දුර්වල වීම

සුරාවට, මත්ද්‍රව්‍ය හා දුම්බීමට එරෙහිව ලෝකයේ දියුණුම රටවල් ද ඇතුළුව විශාල ප්‍රචාරයක් ගෙන යනු ලබන්නේ අකාලයේ වැනසෙන ජීවිත බේරා ගැනීමටයි. මත්ද්‍රව්‍යයන්ට පුරුදු වූ අය නිසා ඔවුන් පමණක් නොව පවුල, ගම, පළාත හා රට ලෙසින් සමස්ත සමාජයටම සිදුවන්නේ අභාග්‍යයකි. විනාශයකි. වර්තමානයේ අප රටේ සිදුවන බොහෝ හොරකම්, අපරාධ හා අහිංසක මව්වරුන් දියණිවරුන්ට අතවර කිරීම් හා මිනීමැරුම් පිටුපස සිටින්නේ බොහෝවිට සුරාවට හා මතට "ඇබ්බැහි" වූ පිරිස් බව ප්‍රකට කරුණකි. මත්ද්‍රව්‍ය ගැනීමෙන් මනස විකෘති වූ අයෙකුට උගත්, වැඩිහිටි, දෙමාපිය, ස්වාමීන් වහන්සේ නමක්, රටට වැඩ ඇති ජීවිත හා කාන්තාවක් යි ආදී ලෙසින් මනුෂ්‍යත්වයේ වටිනාකම් නොපෙනේ. වර්තමානයේ බොහෝ මිනීමැරුම් පිටුපස සිටින්නේ මත්ද්‍රව්‍යවලට හා තදින් සුරාවට පුරුදු වූවන්ය. තරුණ දරුවනේ, ඔබට සේවාවන් දෙකක් කළ හැකිය. පළමු කරුණ නම් ඔබ කිසිදාක සුරාවට මතට හා දුම්බීමට හුරුනොවීමය. දෙවැනි කරුණ නම් ඇසුරු කරන පිරිස් අතරටද මතින් වෙන්වීමේ පණිවිඩය රැගෙන යාමය.
දුම් නොබීම හෝ මංගල හෝ උපන් දින සාදයකදී මත් වතුර වීදුරුවක් නොගැනීම, සමාජයේ දී අඩුවක් ලෙස කිසිවිටෙකත් නොසිතිය යුතුය. ඔබ ඔබගේ ජීවිතය ගැන වග බලාගත යුතු බව අමතක කිරීම නොවටී. විශේෂයෙන්ම වර්තමානයේ සෑම තැනකම විසිර පවතින්නේ ඉඳුරන් මුලාකොට සිත් අතෘප්තිකර අවස්ථාවට ඇද දමන බඩුබාහිරාදියයි. බොහෝ දෑ ජීවිතයට පහසුවක් කියා ළං කර ගත්තත්, ඒවා නිසා ඇතිවන අතුරු ගැටලු හා ලෙඩ රෝග නිමක් නැත. මේ නිසා නුවණින් කටයුතු කිරීමෙන් තමාට තමා ගැන සිතා සතුටුවිය හැකි ජීවිතයක් ඇතිකර ගැනීම සෑම තරුණ දියණියකගේම පුතෙකුගේම වගකීම වන්නේ ය. තාරුණ්‍ය ලස්සනයි. එසේ වන්නේ දහමට ළං වීමෙනි.

මිරිස්සේ ධම්මික හිමි


Reference 


No comments:

Post a Comment